මහාලාන කිත්ති මහරජතුමා


කිත්ති රජු මරා රජකම පැහැර ගන්නා ලද්දේ මහාලාන කිත්ති නම් අයෙකි.සිංහල ග්‍රන්ථවල ඔහු මහලේ රජ ලෙස සඳහන් කර තිබේ.මහල් බලයක් ඇතිව විසීයැයි මහාවංසය දක්වතත් හේ කාගේ කවරෙකුද?යනු කිසිතැනෙක සඳහන් වී නැත.එහෙත් මහාලාන කිත්ති රජ සොළී පාලනයෙන් රට මුදවා ගැනීමට ප්‍රයන්ත දරන ලද අයෙකි.වරක් සොළීන් සමඟ සටනට ගොස් ජයගත නොහැකි බැවින් ඔවුන් අතින් මිය යාමට වඩා යෝග්‍යයැයි සිතා සියතින් ගෙල සිඳගෙන මළේය.සොළී සේනාව මේ අවස්ථාවෙහි වික්‍රමබාහු රජු විසින් පිළියෙළ කරන ලද ඔටුන්න ආදී සියලු වස්තු පැහැර ගන්නා ලදුව සොළී රජු වෙල යැවීය.

රාජාධිරාජ සොළී රජුගේ සෙල්ලිපියක ඔවුන් අතින් මරණයට පත් වූ මාණාභරණ නම් කෙනෙකු ගැන දක්වා තිබේ.සිංහල ලේඛනවල එබඳු නමක් සඳහන් වී නැත.එහෙත් මානාභරණ යනු අපේ ලේඛනවල සඳහන් කර ඇති මහාලානකිත්ති හැටියට හඳුනා ගැනීමට පුළුවන.

කිත්ති හා මහාලාන කිත්ති යන රජවරු සිය පාලනය කරගෙන ගියේ රෝහණයෙහි කිනම් මධ්‍යස්ථානයක සිට දැයි පැහැදිලි නැත.රෝහණ රාජ්‍යෙය් මුල්බිම හැටියට සැලකූ මාගම මේ වනවිට නටබුන් නගරයක් බවට පත්වී තිබුණි.එබැවින් මේ රජවරුන් මධ්‍යස්ථානය වශයෙන් කතරගම පවත්වාගෙන යන්නට ඇතැයි සැලකේ.

ආ කෙහොමද?මෙච්චර තමයි මේ රජතුමා ගැන හොයාගන්න පුලුවන් උනේ.අපි ගියා. බුදු සරණයි!

කිත්ති මහරජතුමා


හයවන කාශ්‍යප හෙවත් වික්‍රමබාහු රජතුමාගේ මරණයෙන් පසු කිත්ති නම් සෙනෙවියා රජකමට කැමති විය.මේ තෙමේ මීට පෙර සඳහන් කරන ලද මුකුහමුවැසි කිත්ති සෙනෙවියාම බවට සැලකිය හැකිය.සමහරු එසේ සලකති.එහෙත් එයට සාධක නැත.එනිසා ඔහු අන්‍යයකු වීමටද පුළුවන.කිත්ති රජුට රජකම් කරන්නට ලැබුණේ දින අටක් තරම් කාලයකි.ඔහු මරා මහාලාන කිත්ති නම් වෙනත් තැනැත්තෙක් රජ විය.

ලංකා විශ්වවිද්‍යාලය විසින් සකස් කරන ලද ලංකා ඉතිහාසය ග්‍රන්ථයෙහි හයවන කාශ්‍යප හෙවත් වික්‍රමබාහු රජුගේ අකල් මරණයෙන් පසු මහාලානකිත්ති රජකමට පත් වූ බව දක්වා තිබේ.අට දිනක් රජකම් කළ කිත්ති රජු අතහැර ඇත.සමහර විට මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා මේ දෙදෙනාම එක් අයකු හැටියට සැලකුවා විය හැකිය.මේ කාලයේ කිත්ති නමින් කීප දෙනෙක්ම සිටියහ.එහෙත් මහාවංසයෙහි මේ දෙදෙනා ගැනම සඳහන් කර තිබේ.පූජාවලිය,නිකාය සංග්‍රහය,රාජාවලිය,රාජරත්නාකාරය ආදී ග්‍රන්ථ කිසිවකද කිත්ති නමින් රජකු දක්වා නැත.මෙය මේ ලේඛකයාගේ ප්‍රමාදයක් විය හැකිය.කෙසේ වෙතත් මේ රජු රජකළේ දින අටක් නමුත් රෝහණයේ කොටසක හෝ බලය තහවුරු කර ගන්නට උත්සාහ කරන්නට ඇත.

ඔන්න අපි අඩුවෙන් ලියල තියෙන රජවරුන්ගේ පෝස්ට් වලට අලුතින් දෑ එක්කරල ළඟදිම අප්ඩේට් පාරක් දානවා.කවුරුත් සර්ච් පාරක් දාගෙන ඉන්න.අපි ගියා.බුදු සරණයි!

පළමුවන වික්‍රමබාහු(6 වන කාශ්‍යප)රජතුමා


පස්වන මහින්ද රජු සොළීන්ගේ සිරකරුවෙකු හැටියට උපක්‍රමයෙන් අල්ලාගෙන යාමෙන් පසුව රෝහණ දේශයේ සුළු ප්‍රදේශයක් හැර මේ දිවයිනේ රජරට ඇතුළු විශාල භූමිභාගයක් ඔවුන්ගේ ආධිපත්‍යයට යටත් වූ බව අපි දනිමු.ඔවුන් එම ප්‍රදේශය කෙසේ පාලනය කරන ලද්දේද යන්න පිළිබඳව සොළීන්ගේ ශිලාලේඛන හා දේශීය මූලාශ්‍රයන් ආශ්‍රය කරගෙන එක්තරා ප්‍රමාණයකට අධ්‍යනයක් කළ හැකිවේ.ඔවුන්ගේ මධ්‍යස්ථානය වූයේ අනුරාධපුරය නොව පොළොන්නරුවයි.වෙනත් රාජ්‍යයකින් එන බලවේගයක් ගැන මේ කාලයේ සොලීන්ට සැක කිරීමට හේතු නොපෙණින.ඔවුන්ට ප්‍රශ්නයක් විය හැකිව තිබුණේ රෝහණ දේශයයි.රට නිදහස් කර ගැනීම පිණිස ඒ ප්‍රදේශයෙන් බලවත් අරගලයක් බිහිවිය හැකිබව ඔවුන් අවබෝධ කරගත්තා විය යුතුය.මේ නිසා එබඳු තත්ත්වයක් උදා වුවහොත් එය පහසුවෙන් මැඩ පැවැත්විය හැකි කේන්ද්‍රස්ථානයක් තෝරා ගතයුතු විය.එයට ඉතාමත් සුදුසු භූමිය වූයේ මෙතෙක් කඳවුරක් වශයෙන් පැවති පොළොන්නරුවයි.ඒ අනුව සොළීහු සිය මධ්‍යස්ථානය හැටියට එය තබා ගත්හ.

එහි ඔවුන්ගේ පාලන ප්‍රදේශය මුම්මඩිචෝලමණ්ඩලම් යි නම් කළ අතර පොළොන්නරුව ජනනාථ මණ්ඩලම් යි නම් කෙරිණි.මේ අන්දමට සොළීන් දිවයිනේ රජරට තම බලය තහනුරු කරගත් නමුදු රෝහණ දේශය හරහා සැඟවී එක්වුණු සිංහලයෝ සිය ජාතික නිදහස උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කිරීමට සංවිධානය වූහ.සොළී රටට අල්ලාගෙන ගිය පස්වන මහින්ද රජුට පුත්‍රයෙක් සිටියේය.ඔහු කාශ්‍යප නම්වූයේය.බාල වයසෙහි සිටි මේ කුමරුවා අල්ලා ගැනීමට සොළීන්ට නොහැකි විය.රටවැසියෝ ළදරුවෙකු වූ මේ කුමාරයා සඟවාගෙන අනාගත අපේක්ෂාව ඇතිව ආරක්ෂා කරගත්හ.කුමාරයා යන්තම් දොළොස්හැවිරිදි වූවා පමණි.සොළීහු ඒ බව දැනගත්හ.ඔවුහු කුමාරයා අල්ලාගන්නා පිණිස අසූපන්දාහක සේනාවක් රෝහණයට යැව් බව මහාවංසය කියයි.

මේ වනවිට සිංහල පක්ෂයේ බලවත්තු දෙදෙනෙක් රෝහණ දේශයේ විසූහ.මක්ඛක්‍රදෑස වාසී කිත්ති හා මාරගල්ලවාසී බුද්ධ යනු ඒ දෙදෙනා වෙති.මෙහි පළමුවැන්නා විසුවේ කොතැනදැයි හඳුනා ගැනීමට තවමත් පුළුවන් වී නැත.මක්ඛක්‍රදෑස යන වචනය දැනට මකුහමු යනුවෙන් හෙළ බසට නගා ඇතත් එම ග්‍රාමය කොහේ පිහිටියේද යනු පැහැදිලි නැත.එහෙත් මාරගල්ල යනු මරගලය.එය වර්තමාන මොණරාගල නගරය අසල සිට දිගට විහිදෙන කොටස් වෙනත් නම් වලින්ද හැඳින්වෙන නමුත් ඒකාබද්ධව අති මහා කඳු වැටියයි.මෙය ගල්කුළු බහුල,ජලසම්පත් සහිත,ආරක්ෂාව අපේක්ෂා කරන්නට සැඟවී සිටිය හැකි,සිය ගණන් ගල්ලෙන් හා කුහර ඇති දුර්ගම කන්දකි.මෙහි බුද්ධ සෙනෙවියා විසූයේ කොතනකදැයි පැහැදිලි නැතත් සමහරවිට වර්තමාන සීතකන්ද නම් කොටසේ වන්නට ඇතැයි සිතිය හැකිය.

පොළොන්නරුවෙන් පිටත් වූ අසූපන්දහසක සොළී සේනාවට මුහුණ දෙන ලද්දේ ඉහත සඳහන් කළ වීර සෙනෙවියන් දෙදෙනෙකි.මේ දෙදෙනා යුද්ධ උපායෙහි දක්ෂ වූවන් බව මහාවංසය කියයි.සොළී මුළු රුහුණම කළඹද්දී පළුට්ඨගිරි නම් තැන කඳවුරු බැදගෙන හයමසක් සටන් කර මේ සෙනෙවියේ බොහෝ සෙනෙවියන් නැසූ අතර ඉතුරු වූවන් පොළොන්නරුවට පලවා දැමීය.

මෙයින් අපට පැහැදිලි වන්නේ රෝහණ වැසි ජනයාගේ රට ජාතිය ආගම වෙනුවෙන් වූ අභීත කැපවීමයි.සොළීන්ගේ බලයට අවනත නොවූ සුළු ප්‍රදේශයක විවිධ ගැටලුවලට මුහුණ දෙමින් වාසය කළ මේ සිංහලයෝ අසූහාරදාහකට මුහුණ දීම සුළු සිදුධියක් නොවේ.සිංහලයෝ කෙබදු අභිමානවත් වූ ධෛර්යයසම්පන්න සිතකින් ඔවුන් සමඟ දේශයේ ස්වාධීනත්වය රැකගැනීම උදෙසා යුද වදින්නට ඇද්ද?සොළීන් පොළොන්නරුව දක්වා පළවා හැරීමට සිංහලයෝ සමත් වූහ.ළපටි වික්‍රමබාහු කුමාරයාගේ දැඩි අධිෂ්ඨානය හමුවේ සොළිහු දණ ගැසූහතමෙයින් පසු රෝහණ වැසියෝ කාශ්‍යප කුමාරයාට වික්‍රමබාහු යැයි නම් තබා ඔහුගේ අණසකට යටත්ව විසූහතකුමාර තෙමේ සොළීන් සමඟ සටන් කිරීම පිණිස යුද්ධ හමුදාවක් පිළියෙළ කළේය.එසේම ඔටුනු පැළදවීමට අවශ්‍ය ඔටුන්න,සිංහාසනය ආදිය පිළියෙළ කරමින් සිටියදී අභාග්‍යයකට මෙන් දොළොස්වන වර්ෂයේදී වාතරෝගයකින් දෙවුන්දරදී මරණයට පත්විය.සමහරවිට මෙම කුමරුවා ජීවත්ව සිටියනම් මහා විජයබාහු කුමාරයාට පෙර සොළීන් මෙරටින් පලවා දමනු නිසැකය.

මේ අන්දමට මේ සිද්ධිය මහාවංසයෙහි වාර්තා වුවද රාජාධිරාජ සොළී රජුගේ මණිමංගලම් සෙල්ලිපියේ දැක්වෙන්නේ මෙයට වෙනස් සිද්ධියකි.වික්‍රමබාහු රජු සොළීන් විසින් මරණයට පත්කරන ලද බැව් එහි කියවේ.සමහර විට සෙල්ලිපිය අතිශෝක්තියෙන් රාජාධිරාජ රජුගේ බලය වර්ණසා කළ විය හැකිය.

ඉහත සඳහන් වර්ෂ ගණනය කුමාරයාගේ වයස නොවිය හැකිය.ඔහු රජකමට පත්වූ දා සිට සැලකුවා විය හැකිය.බොහෝ අනාගත අපේක්ෂා සහිතව කුමාරයා වටා එක්ව සිටි සිංහලයින්ට මෙයින් පසු අපේක්ෂා භංගත්වයට ඇති වූ බවට සැක නැත.ඔවුහු බලවත්සේ කම්පා වූහ.

පූජාවලියේ මෙසේ කියා ඇත.ඔහු පිත් වික්‍රමබාහු රජ සිය රජහු සමයෙහි ලක්දිවට බැස පුරා හුන් දෙමළ පල පිරිස් මරා දියපිට නන්වා දොළොස් අවුරුද්දක් රාජ්‍යය කළේය.මේ විස්තරය මේ ආකාරයටම රාජරත්නාකාරයෙහිද දක්වා තිබේ.

අපි ගියා ළමයිනේ.ලක්දිව රාජාවලිය පිටුවේ රුහුණු රාජධානියටත් දැන් අපි ගොඩ බැස්සා .මේ ලිපිය ඒකටයි ලිව්වේ.බුදු සරණයි!

කිත්සිරිමෙවන් රජතුමා


මම අද කියන්න යන්නේ පොඩ්ඩක් අවුල් වියවුල් සහගත රජකෙනෙක් ගැන.ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ රාජ්‍ය කාලය ගැන ප්‍රශ්නයක්නේ.හැබැයි ඒ ප්‍රශ්නය වගේම ගොඩාක් ප්‍රශ්න වලට ඔහුට මුහුණ දීමට සිදුවෙලා තියනවා.අපිට මොකෝ අපි වැඩේට බහිමුකෝ.

සුළු මුගලන් රජුගෙන් පසුව රජකමට පත්වූයේ කිත්සිරිමේඝ නම් කුමාරයාය.ඔහු මුගලන් රජුගේ පුත්‍රයා වෙයි.සිංහල ලේඛනවල සඳහන් වන්නේ මේ රජු කුඩා කිත්සිරිමෙවන් වශයෙනි.මොහුගේ කාලයේදී රාජ්‍ය තන්ත්‍රයෙහි මහල් අවුලක් ඇති විය.එයට හේතුව වූයේ මේ රජුගේ මව මුගලන් රජුගේ නෑයන් වස දී මරමින් සිය පුතුට නාමිකව රජකම පවරා තමාම රටේ පාලනය අතට ගැනීමයි.එහෙත් ඇයට ඒ සඳහා දක්ෂ කමක් තිබුණේ නැත.එනිසා රාජ්‍ය පාලනය බොහෝ සේ දූෂිත විය.ක්‍රමවත් දැඩි අධීක්ෂණයක් නොතිබුණු නිසා රාජ්‍ය නිළධාරීහු අල්ලස් ගනිමින් වැසියන් පෙළූහ.ජනපදවල සිටි බලවත්හු බිය සැක නැතිවම රාජ්‍ය නීති උල්ලංඝණය කළහ.මේ අන්දමට පාලන තන්ත්‍රය බිඳවැටෙද්දී මහ ජනතාව බලවත් කලකිරීමට පත්වී සිටියහ.මේ අනුව කැරැල්ලක් ඇතිවන තත්ත්වයක් උද්ගතවී තිබිණි.

ඉහත සඳහන් වූ අවුල් වියවුල් සහිත තත්ත්වය පැවතියේ වුවද කිත්සිරිමෙවන් රජු පෙර සිරිත් පරිදි රජෙකුගෙන් ඉටු විය යුතු කටයුතු ඉටුකිරීමට උනන්දුවක් දැක්වූයේය.රජ බෝධිඝරයේ දිරා තිබූ වහලය ලෝහ උළු වලින් වස්වා එහි ප්‍රතිසංස්කරණයක් කළේය.තවද දුගී මගී යාචකාදීන්ට මහ දන් දුන් බවද මහාවංසය දක්වයි.මේ රජු සියළු ජනයාට ළඟවීමට හැකි විශ්‍රාම ශාලාවක් මෙන් වී යැයිද එහි විස්තර වේ.ඔහු සෑහෙන කලක් රජකම් කළේ ද මහ ජනතාවගේ හිතවතෙකු වූ නිසා විය යුතුය.

කිත්සිරිමෙවන් රජුගේ රාජ්‍ය කාලය දින විසි එකක් වූ බව මහාවංස පාඨවල දැක්වේ.ඔහු විසින් කරවන ලදැයි ඉහතින් දැක්වූ කටයුතු එබඳු සුළු දිනකදී සිදුවිය හැකි දේ නොවේ.මේ නිසා මෙහිදී මහාවංස පාඨය අතින් අත ලියවීම නිසා ලේඛකයන් අතින් ප්‍රමාද දෝෂයක් සිදුවූ සේ සැලකිය හැකිය.මේ කාලය ගැන දැක්වෙන මහාවංසයේ සතළිස්වන පරිච්ඡේදයේ අනූ එක්වන ගාථාවේ පාද දෙකේ තේරුම සහ ගාථව මෙසේය

එකුන විංසෙ දිවසෙ.මාරයිත්වා මහීපතිං

(එකුන් විසිවන දින මිහිපති මරවා )යනුවෙනි.

මේ අනුවෙනි කිත්සිරිමෙවන් රජ රජවී එකුන් විසිවන දින මැරුම් කෑවේය.එහෙත් මේ රජු මීට වඩා කාලයක් රජකම් කළ බවට සාධක තිබේ.පූජාවලිය,සුළු පූජාවලිය ආදී ග්‍රන්ථවල මෙතුමාගේ රාජ්‍ය කාලය වර්ධ දහනවයක් බව දැක්වේ.මහාවංසය ඉංග්‍රීසියට පරිවර්තනය කළ ජෝර්ජ් ටර්නර් මේ රජුට වර්ෂ දහ නවයක් වෙන්කර ඇත.මහාවංසය සිංහලයට පරිවර්තනය කළ ශ්‍රී සුමංගල නාහිමි,බටුවන්තුඩාව පඩිවරුන් මෙය දින දහනවයක්යැයි සඳහන් කළ පසු මෙය නිවැරදි යැයි පිළගෙන ඇත.ඩබ්ලිව්.ඇෆ් ගුණවර්ධන වාසමුදලි තුමා මේ කාරණය පිළිබඳව විමසීමක් කරමින් කියා සිටියේ මේ රජුගේ රාජ්‍ය කාලය වර්ෂ දහනවයක් විය යුතු බවයි.

ඉහතින් සඳහන් කළ ගාථාවේ දිවෙස යන වචනයෙහි විෂම පාඨ සමහර පිටපත්වල දක්නට ලැබෙන නිසා එහි නිවැරදි පාඨයක් තිබිය යුතුය.ලියන්නන් අතින් වෙනස් වී ඇති මේ වචනයේ මහාවංසය ලියූ කතුවරයාගේ වචනය දිවෙස නොව වස්සේ යන්න විය යුතුය.එහිට එකුන් විසි වසක් යන අර්ථය ඉන් ලැබේ.මේ අනුව කිත්සිරිමෙවන් රජුගේ රාජ්‍ය කාලය වර්ෂ 19 ක් වීමෙන් පසු බිබිලේ ටැම්ගොඩ විහාරයේ තිබී හමුවූ මේ රජුගේ කාලයට අයත් සෙල්ලිපි කැබැල්ලෙන් වසර 19 ක් රජ කළ බව තහවුරු විය.

කිත්සිරිමෙවන් රජුගේ යුගයෙහි රටේ පාලන තන්ත්‍රය දුර්වල වී ගිය ආකාරය ගැන මුලින් සඳහන් කළෙමු.එහෙත් මුල් කාලයේ ඔහුගේ අණසක රෝහණ දේශයේද පිළිගැනී තිබුණු බව ඉහතින් දුටු ටැම්ගොඩ විහාර ලිපියෙන් වුවද පැහැදිලි වෙයි.එහෙත් මේ තත්ත්වය පසුව වෙනස් වන්නට විය.රාජ්‍යය තුළ බලවත් අවුල් වියවුල් මතුවිය.අඹහෙරණ සලමෙවන් හෙවත් සීලාකාල රජුගේ කාලයේ සිට වරින් වර මතුවෙමින් පැවැති බලවත් පුද්ගලයෙකු වූ මහානාග නැමැත්තෙක් කිත්සිරිමෙවන් රජු මරණයට පත්කොට සිහසුනට පත්වූයේ මේ තත්ත්වයන් උපයෝගී කරගනිමිනි.කිත්සිරිමෙවන් රජු ධාතුසේන පෙළපතේ අන්තිමයා යැයි මහාචාර්ය සෙනරත් පරණවිතාන කියතත් ඔහු සීලාකාල පෙළපතට අයත් වෙයි.සීලාකාල ලම්බකර්ණ වංශිකයෙහි.ධාතුසේන රජුට සීලාකාල සමඟ තිබූ සම්බන්ධය වන්නේ තම පුත් මුගලන් රජුගේ සහෝ දරිය ඔහුට පාවාදී තිබීම පමණකි.දෙවන උපතිස්ස රජුගෙන් ආරම්භ වුණු දෙවන ලම්බකර්ණ වංශික රජ පෙළපත මේ රජුගෙන් අවසන් වූයේය.

මේ රජුගේ රාජ්‍ය කාලය වර්ෂ දහනවයක් වේ.එම නිසා රාජ්‍ය වර්ෂ නැවතැත් ගණනය කිරීමට සිදුවේ.අපි එය වියතුන්ට ඉඩ හැරා ඉදිමු.

කොහොමද මල්ලිලා අපි ගියා .බුදු සරණයි

හත්ථදාඨ මහ රජතුමා


පොඩ්ඩක් මේ දවස්වල ලක්දිව රාජාවලිය පිටුව පොඩ්ඩක් ප්‍රතිසංස්කරණයකට ලක්කරල දෝෂ ටිකක් මඟ හැරියා. දැන් ඔයගොල්ලන්ට කිසිම දෝෂයක් නැතුව පොතක් කියවනෝ වගේ රාජාවලිය පිටුව කියවන්න පුලුවන්.මම අද කියන්න යන්නේ අපේ රට යටත් කරගෙන පාලනය ගෙන ගිය දකුණු ඉන්දියානු ආක්‍රමණිකයෙක් වන හත්ථදාථ රජතුමා.මේ රජතුමා ගැන හොයාගන්න ඔයාලට ගොඩාක් අමාරු වෙයි.ඉතිහාසයේ අගමුල සොයා යන ඔය ගොල්ලන්ට අපේ බ්ලොග් කියෙව්වොත් මොනවද ඉතිං.දැන් පුරසාරම් දෙඩෙව්ව ඇති වගේ.කතාවට බහිමු.

දනපිටි දත්ත රජුගෙන් පසු හත්ථදාඨ නම් අයකු රජකමට පත් විය.ඔහු හුනන්තරු රියන් දළ නමින් ඇතැම් ග්‍රහන්ථවල දැක්වේ.හුනන්තරු යනු මහාවංසයෙහි උණහනාගර යනු වෙන් දැක්වෙන ගමකි.එහි උපන් නාවු හෙතෙම ප්‍රසිද්ධ විය.හත්ථදාඨ රජකමට පත්කරන ලද්දේ ද පොත්ථකුට්ඨ සෙනෙවියා විසිනි.මේ වන විට දෙමළ සෙන්පතියන් රජුන් තනන්නන් බවට පත්වී බව පෙනේ.

ඉහත සඳහන් රූකඩ රජවරුන්ගේ කාලය තුළ රටේ යහපත් තත්ත්වයක් පැවැත්තේ යැයි තිය නොහැකිය.කිසියම් පිංකමක් හැරෙන විට ඔවුන් විසින් කරන ලද විශේෂ කාර්යයක් ගැන සඳහන් වී නැත.සිංහල රාජවංශයෙහි එක්තරා කඩයිමක් මෙහිලා පෙන්නුම් කරයි.ශීලාකාල රජුගෙන් පසු මානවම්ම කුමරුගේ රජවීම දක්වා අතරතුර කාලය රජපෙළපත් අස්ථීරව පැවති යුගයක් හැටියට සැළකේතමේ යුගය තුළ රජවරුන් කීප දෙනෙකු ප්‍රබලව සිටියදී අරගලවලින් ග්‍රහණ විය.ශීලාකාල රජුගෙන් ආරම්භ වූ රාජ පෙළපතත් මහානාගගේ රජපෙළපතත් යන පෙළපත් දෙක අතර රාජ්‍ය උරුමය සඳහා එකිනෙකා පරයා අරගල හට ගත්තේය.මේ නිසා වරක් එක් පෙළපතක් බලයට පත්වූ පසු අන්‍ය පෙළපතේ කුමාරවරුන් නැගී සිටීම සිරිත විය.මේ නිසා බල අරගල සඳහා කුලී හමුදා සැපයීමේ කොන්ත්‍රාත්තුව කරගෙන යන බලධාරීහු බිහිවිය.මේ තත්ත්වය මත දිවයිනේ සංවර්ධනයට වඩා සිදුවූයේ පරිහානියකි.ඔවුන් නිසා මහජනතාවද පීඩනයට පත්විය.රටේ ධනය කොල්ල කෑමට භාජනය විය.රටේ පැවති අර්ථ ක්‍රමයද විනාශ වී ගියේය.මේ තත්ත්වය අවසන් වී යහපත් කාලයක් උදා වූයේ මාණවම්ම නම් කුමාරයකු සිහසුනට පැමිණීමෙනි.එරියට අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පැමිණීම වගේ නේ.කොච්චර දියුණුවක්ද සිදුවුණේ.හත්දාඨ රජුගේ කාලය මාස හයකට සීමා විය.

තාම බස්රේඩියෝ ප්‍රතිඵල නැහැනේ.අපිනම් ඕන දෙයකට මුහුණ දීමට බලාගෙන තමයි ඉන්නේ.අපි අපේ වැඩේ කරගෙන යමු.අපි ගියා.බුදු සරණයි!

දාඨාපභූති මහරජතුමා


සීලාකාල රජුගෙන් පසු රජකමට පත්වූයේ දාඨාපභූති කුමාරයාය.මේ රජු දාපුලුසෙන් හා පළමුවන නමින් රාජාවලියෙහිද දාපුලුසෙන් නමින් පූජාවලිය හා නිකායසංග්‍රහයෙහි ද සඳහන් වේ.නීත්‍යානුකූලව රජය හිමිවිය යුතු වූයේ පාචීන දේශයේ භාරව සිටි වැඩිමහලු මුගලන් කුමරුටය.එහෙත් පියරජු මියගිය බව දැනගත් දාඨාපභූති කුමාරයා මලයරට සිට පැමිණ බලයෙන් සිහසුනට පත් විය.රජය හිමි ඔබට නොවේ යැයි යුක්තිය කථාකළ බාල සහෝදරයා වූ උපතිස්ස කුමාරයාද මරණයට පත් කළේය.මෙය මහත් කැළඹිල්ලක් ඇතිවීමට හේතු විය.මේ සියල්ල දැනගත් පාචීන දේශයේ සිටි මුගලන් කුමාරයා සිය උරුමය රැකගැනීමට හා යුක්තිය පසිදලීමටද ඉදිරිපත් විය.මෙහිදී බලවත් ගැටුමක් හට ගත්තේය.මුගලන් කුමරු බලසෙනඟ ගෙන ගොස් රෙහෙර කන්දේ කඳවුරු බැන්දේය.දාඨාපභූති රජුද බලසෙනඟ ගෙන ඉදිරියට ගියේ කිරිදිගල නම් තැන කඳවුරු බැන්දේය.මේ ස්ථාන නියත වශයෙන් අද හදුනාගෙන නැත.එහෙත් කිරිදිගල මිහින්තලෙන් සැතපුම් හතරක් පමණ දුරින් පිහිටි වර්තමාන මහකිරිදිගම නමින් හැදින්වෙන පෙදෙස විය හැකිය.

මුහුණට මුහුණලා සිටි මුගලන් කුමරු තෙමේ දාඨාපභූතිට කදිම යෝජනාවක් ඉදිරිපත් කළේය.සටන ඇත්තේ අප දෙදෙනා අතරය.මහජනයා අතර නොවේ.එබැවින් මහජනතාවට පීඩා නොකර අප දෙදෙනා අතර පමණක් සටන වේවා.මෙය වැදගත් ආදර්ශයකි.රාජ්‍ය උරුමය නිවැරදි ලෙස ක්‍රියාත්මක නොකිරීම බලලෝගී ක්‍රියාවක දාඨාපභූති කුමරු යෙදීම මේ සහෝදර ගැටුමට හේතු විය.දාඨාපභූති කුමාරයා යෝජනාවට කැමති විය.සිදු වූයේ ඉතා බිහිසුණු සටනකි.පංචායුද බදිනා ලද ඇතුන් පිට නැගුණු දෙදෙනාගේ ගැටුම් හෙණහඩ මෙනැයිද දළ ගැටුමින් නැගුණු ගිනි පුලිගු විදුලිය මෙනැයි ද මහාවංසය දක්වයි.දාඨාපභූතිගේ ඇතු මුගලන් කුමරුගේ ඇතුගේ දළින් ඇමිණි ලෙහෙයින් නැහැවී ගියේ සැදෑවලා මෙනී වී යැයි කාව්‍යමය වැණුමක් මහාවංසයට එක්විය.ජයගත නොහැකි බව දැනගත් දාඨාපභූති රජු සියදිවි හානිකරගත්තේ මුගලන් කුමරු එසේ නොකරන ලෙස වදිමින් ඇයද සිටිද්දීය.සටන අවසන් විය.දාඨාපභූතිගේ රාජ්‍ය කාලය මසකුත් එක් දිනකට සීමා විය.

බල තණ්හාව හේතුවෙන් ක්‍රියා කළ එඩිතර දාඨාපභූති කුමරුගේ ජීවිතය අකාලයේ විනාශ විය.තවත් ලිපියකින් හමුවෙමු.

දෙවන රාජසිංහ රජතුමා


සෙනරත් රජු මියගිය විට මහා අස්ථාන හෙවත් දේවරාජසිංහ කුමරු දෙවන රාජසිංහ නමින් උඩරට රජවීම උඩරට රාජ්‍යයෙහි පමණක් නොව මුළු ලංකාවෙහිම වැදගත් සන්ධිස්ථානයක් බව කිව යුතුය.ක්‍රි.ව.1630 දී රන්දෙණිවෙල සටන මෙහෙයවීම හේතුවෙන් රජ වීමට පෙර සිටම කීර්තියට පත්ව සිටි ඔහුගේ ඒකායන බලාපොරොත්තුව වූයේ පෘතුගීසීන් ලක්දිවෙන් තුරන්කොට සමස්ත දේශයෙහිම පාලකයා වීමය.

තමා ත්‍රීසිංහලාධීශ්වර බව දැන්වූ රජු යම් යම් වරප්‍රසාද භුක්ති විදි විදේශිකයින් කප්පම් ගෙවිය යුතු බවටද නියෝග කළේය.පෙර රජවරු පෘතුගීසි ප්‍රදේශවල වරින් වර කැරලි ඇතිකොට එම ප්‍රදේශවල හානි පැමිණවීමෙන් තාවකාලීකව පෘතුගීසි බලය මර්දනය කළහ.පෘතුගීසීන් සහමුලින් පන්නා දැමීමට එම ක්‍රමය ප්‍රමාණවත් නොවන බවද ඒ සඳහා බලගතු නාවික ශක්තියක් තිබිය යුතු බවද දෙවන රාජසිංහ රජු වටහා ගත්තේය.පළමුවන රාජසිංහ රජු මෙන් දෙවන රාජසිංහ රජුද පෘතුගීසීන් කොළඹ කොටුව දක්වා එළවා දැමීමට සමත් වුවද පෘතුගීසින්ගේ නාවික ශක්තිය හේතුවෙන් එයට එහා යමක් කළ නොහැකි විය.එයට පිළියම් වශයෙන් ඔහු ඒ වන විට ඉන්දියා දූපත් සමග දූත මෙහෙවරද ලිපි ගනුදෙනු කළේය.ජාවා දිවයිනේ ජාකර්තාවල බලය පිහිටුවා ගෙන සිටි ලන්දේසීන් වෙළදාමට අමතරව අන් යමක් බලාපොරොත්තු නොවෙතැයි සිතූ රජු ඔවුන්ට කුරුදු වෙළදාම පිළිබඳ අයිතිය හා වරායන් පමණක් ලබා දීමෙන් පෘතුගීසීන් පලවා හැරීමට උදව් ලබාගත හැකියැයි සිතීය.ලන්දේසීන්ගේ ආධාර ලබා ගැනීමේදී දෙවෙනි රාජසිංහ රජු එක් විදේශීය ජාතියක් වෙනුවට තවත් විදේශීය ජාතියක් මෙරටට වැද්ද ගැනීමට කිසිවිටෙකත් නොසිතීමද විශේෂයෙන් සැලකිය යුත්තකි.ඔහුගේ ඒකායන පරමාර්ථය වූයේ පෘතුගීසීන් සතුව තිබූ සෑම බිම් අඟලක්ම නිදහස් කර ගැනීමය.

දෙවන රාජසිංහ රජු ලන්දේසීන්ගෙන් උපකාර පැතීම පෘතුගීසීන් රුසන්නක් නොවීය.ඒ අනුව එවකට මෙරට පෘතුගීසි ආණ්ඩුකාරයාව සිටි දියෝගුද මේලෝ කිසිවෙකුගේ අදහස් නොවිමසා ක්‍රි.ව.1638 දී නැවතත් උඩරට ආක්‍රමණය කළේය.එසේ වුව රණශූර දෙවන රාජසිංහ රජු දියෝගුද මේලෝ පවා මරමුවට පත් කරමින් ආක්‍රමණය මැඩ පවත්වා පෘතුගීසි හමුදාව සමූලඝාතනය කර දැමුවේය.ඉන් නොනැවතුණු රජු පහතරට ප්‍රදේශවල ජනතාව ලවා කැරලි ඇතිකොට පෘතුගීසි පාලනය අවුල් කොට දැමුවේය.

අද්මිරාල් වෙස්ටර් වෝල්ඩ් නැමැත්තා යටතේ ලන්දේසි නැව් කණ්ඩායමක් මඩකලපුවට ළඟා වූයේ මේ අවධියේය.පෘතුගීසීන්ට පහරදීම සදහා කදිම අවස්ථාවක් එළඹ ඇති බව වටහා ගත් හෙතෙම මඩකලපු වරාය අපහසුවකින් තොරව අල්ලා ගත්තේය.මෙයින් සතුටට පත් රජතුමා අද්මිරාල් වෙස්ටර් වෝල්ඩ් සමග 1638 දී අලුත් ගිවිසුමකට එළඹියේය.

ක්‍රි.ව.1638 දී අත.්සන් තබන ලද එම ගිවිසුමට අනුව රජු පෘතුගීසීන් නෙරපා දැමීම සඳහා වැයවන මුදල ලන්දේසීන්ට ගෙවීමටද එතෙක් ඔවුන් භුක්ති විදි කුරුදු වෙළදාම පිළිබඳ අයිතිය ලන්දේසීන්ට පැවරීමට එකඟ විය.පෘතුගීසීන්ගෙන් අල්ලා ගන්නා ලද බළකොටු උඩරට රජුගේ කැමැත්ත පරිදි විනාශ කිරීමට හෝ පිළිසකර කොට ලන්දේසීන්ට නතර වී හිඳීමට ඉඩදීමටද රජු එකඟ විය .එසේ වුවද එහදී ලන්දේසීහු “උඩරට රජු කැමති පරිදි”යන්න සිතාමතාම තමන්ගේ පිටපතෙහි සදහන් නොකිරීමට වගබලා ගත්හ.

ඔවුන්ගේ අභිප්‍රාය වූයේ පෙරදිගදී තමන්ට වෙළද වාසි අත්කර ගත හැකි ප්‍රදේශ තමන් සතු කර ගැනීමය.ඒ අනුව එවකට ලෝකයේ ඉස්තරම්ම කුරුදු නිපදවන රට පෘතුගීසීන්ගෙන් නිදහස් කොට උඩරට රජුගේ ආධිපත්‍යයට නතු කොට එහි වෙළද අයිතිය පමණක් රදවා ගැනීමට ඔවුන් අදහස් කළේ නැත. ඒ අනුව ඉහත සදහන් උඩරට රජු කැමති පරිදි යන වගන්තිය ඇතුළත් නොකිරීම හේතුවෙන් ලන්දේසීන් මෙරට ඉන්නා තුරාවට උඩරට රජු හා ඔවුන් අතර ගැටුම් ඇතිවීම වළක්වා ගත හැකි නොවීම.

ක්‍රි.ව.1639 මැයි මාසයේදී නැගෙනහිර වෙරළේ ඉතිරිව තිබූ එකම පෘතුගීසි බළකොටුව වූ ත්‍රිකුණාමලය අල්ලා ගත් ලන්දේසීහු ක්‍රි.ව.1640 පෙබරවාරි මාසයේදී මීගමුවද,ඊළඟ මාසයේදී ගාල්ලද අත්පත් කර ගත්හ.ක්‍රි.ව.1656 දී කොළඹ කොටුවද යටත් කර ගැනීමට හැකිවූ අතර ඒ අනුව පෘතුගීසීන් එළවා දැමීමේ රජුගේ අදහස සඵල වුවද රජු හා ලන්දේසීන් අතර මතභේදවල අඩුවක් නොවීය.

කෙසේ වුවද ක්‍රි.ව.1645 දී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ සම්බන්ධව ලන්දේසීන් හා පෘතුගීසීන් අතර සාම ගිවිසුමක් ඇති වූ අතර එය රාජසිංහ රජු කිසිසේත්ම ඉවසූ දෙයක් නොවීය.එම ගිවිසුමට අනුව මීගමුව සහ ගාලු වාරායන්ද,බෙන්තර ග‍ගේ සිට වළවේ ගඟ දක්වා රට අභ්‍යන්තරයට සැතපුම් 40 සිට 60 අතර ප්‍රමාණයක මුහුදුබඩ බිම් තීරයද ලන්දේසීන්ට අයත් බව පෘතුගීසීන් පිළිගෙන තිබුණි.තමාගේ උපකාරයට ගෙන්වා ගත් මිතුරා සතුරා සමග අත්වැල් බැද ගැනීම රාජසිංහ රජු අපේක්ෂා කළ දෙයක් නොවේ.මේ කාරණා හේතුවෙන් එම කාලයේදී දෙවන රාජසිංහ රජු ලන්දේසීන්ට එරෙහිව කටයුතු කිරීමට පටන් ගත්තේය.

ඔය අතරේම පෘතුගීසීන්ද රජු හා සාම ගිවිසුමකට එළඹීමට කටයුතු කළහ.එසේවුව ක්‍රි.ව.1649 දී පමණ ඔවුන් එවූ තානාපතියා වෙත රජු ඔවුනට පිළිගත නොහැකි ආකාරයේ කොන්දේසි දෙකක් නැවතත් ඉදිරිපත් කළේ නැවතත් ඔවුන් හා සමගි සාමදානයකට එළඹීමට නොකැමති වූ නිසාය.මුළු ලංකාද්වීපයෙහිම අධිපතියා තමන් වියයුතු බව පළමු කොන්දේසිය වූ අතර දෙවැන්න වූයේ කතෝලික පූජකවරුන්ට උඩරට ප්‍රදේශවල වාසය කිරීමට ඉඩදෙන අතර පෘතුගීසීන් සතු සෑම ප්‍රදේශයකම නතරවීමේ බලය බෞද්ධ භික්ෂූන් වහන්සේලා සතුවිය යුතු බවය.ඒ ආදී කාරණා මත සාම සාක්ච්ඡා මල්පල නොගැණුනි.

ක්‍රි.ව.1650 අවසාන භාගයේදී ලන්දේසි-පෘතුගීසි මිත්‍රත්වයද බිඳ වැටුණි.ඒ වන විට ලංකාවේ පෘතුගීසීන් සතුව තිබුණේ කළුතර,අගුරුවාතොට,කොළඹ,මන්නාරම හා යාපනය බළකොටු පමණි.ලන්දේසීන් නැවතත් එම ප්‍රදේශවලට පහරදීම ඇරඹූ අතර රාජසිංහ රජුද අවස්ථාව බලා ගොඩබිමින් පෘතුගීසීන් පහර දුන්නේය.ක්‍රි.ව.1655 දී කළුතර හා අගුරුවාතොට බළකොටු අල්ලා ගත් ලන්දේසීහු කොළඹ වෙත නෙත් යොමු කළහ.එසේ වුව කොළඹ කොටුවට පහර දෙනු ප්‍රමාද වෙනු දුටු ගැස්පා ෂිගේරා නම් පෘතුගීසි කපිතාන්වරයා යළිත් වරක් අගුරුවාතොට අල්ලාගෙන සතර කෝරළයේ හා සත් කොරළයේ සිටි සේනාවන්ට පහරදී පන්නා දමා එම ප්‍රදේශද,සබරගමුව හා බුලත්ගම ආදී ප්‍රදේශවලද තමන්ගේ බලය තහවුරු කර ගත්තේය.

එසේ වුව දෙවන රාජසිංහ රජු රට අභ්‍යන්තරයේ පෘතුගීසි බළකොටුවලට පහරදී ජය ගනිමින් සිටි හේතුවද,ලන්දේසි හමුදාවන්ට ආහාර පානාදිය සපයමින් උපකාර කළ හෙයින්ද ක්‍රි.ව.1656 මැයි 12 වැනි දින කොළඹ කොටුව අතහැර දැමීමට පෘතුගීසීන්ට සිදු විය.ඉතිරිව තිබූ මන්නාරම හා යාපනය ද ක්‍රි.ව.1658 පෙබරවාරි හා ජුනි මාසවලදී අල්ලා ගන්නා ලදී.එසේ වුව තමන්ගේ ද ආධාර ඇතිව කොළඹ කොටුව අල්ලාගත් ලන්දේසීන් වගක් නොමැතිව තනිවම එය අත්පත් කරගෙන සිටීම දෙවන රාජසිංහ රජු පුදුමයට හා කෝපයට පත්විය.

පෘතුගීසීන් පලවා හැරි කල රටේ ඔවුන් සතුව තිබූ සෑම බිම් අඟලක්ම ලන්දේසීන් සතු වූයේ යැයි නොසිතිය යුතුය.ලන්දේසීන්ගේ අරමුණ වටහා ගත් දෙවන රාජසිංහ රජතුමා හැකිතාක් එය වැළැක්වීමට පියවර ගත්තේය.එහි ප්‍රතිඵලයක් වශයෙන් පෘතුගීසීන් සතුව තිබූ ප්‍රදේශවලින් වැඩි ප්‍රමාණයක් උඩරට රාජධානියට ඈදා ගැනීමට රජු සමත් වූයේය.ක්‍රි.ව.1638 දී පුත්තලමේ සිට මීගමුව දක්වා මුහුදුබඩ තීරය පෘතුගීසීන් සතුව පැවතියද ක්‍රි.ව.1658 වන විට ඒ ප්‍රදේශ අයිතිව තිබුණේ උඩරට රාජ්‍යයටය.ඒ අනුව කල්පිටිය හා මන්නාරම වරායන් උපයෝගී කරගෙන උඩරට වැසියනට සෘජුවම විදේශික වෙළදුන් හා වෙළද කටයුතුවල නිරත විය හැකිව අතර ඒ හේතුවෙන් උඩරට රාජ්‍යය තුළ ආර්ථික සංවර්ධනයක්ද ඇති විය.එයට අමතරව සත්කෝරළය සහමුලින්මච,සබරගමුවේ හා සතර කෝරළයේ වැඩි ප්‍රමාණයක්ද තමන්ගේ අණසක යටතට ගැනීමට උඩරට රජු සමත්ව සිටි අතර,
කුරුදු නොවැවෙතැයි යන විශ්වාසය කළ මඩකලපුව හා ත්‍රිකුණාමලය අවට ප්‍රදේශ ලන්දේසීන් විසින් රජුට භාරදී තිබුණි.ඒ අනුව බලන කල පෙර කිසි විටෙකත් නොවූ අන්දමට උඩරට රාජ්‍යය සතුව විශාල භූමි ප්‍රදේශයක් තිබුණි.උඩරට රජු කෝප ගැන්වීම භයානක ප්‍රතිඵල ගෙන දෙන්නක් බව දැන සිටි ලන්දේසීහු,රජු ත්‍රිසිංහලාධීශ්වර බව පිළිගනිමින් තමන් උඩරට රජුගේ සුච්ච කීකරු සේවකයින් බව ප්‍රකාශ කළහ.එසේම කුරුදු ලබා ගැනීමේදී ඔවුන්ට උඩරට රජුට කප්පම් ගෙවීමටද සිදුවිය.එසේවුව මේ සියල්ල එපරිද්දෙන්ම තබා ගැනීම සදහා ක්‍රි.ව.1658 න් පසුව උඩරට රජුට ලන්දේසීන් සමග බලවත් අරගලයක නිරත වීමට සිදුවිය.

රජුගේ දැඩි ක්‍රියාමාර්ග පමණක් නොව ලංකාවේ ලන්දේසීන් සතු ප්‍රදේශවල ආණ්ඩුකාරවරයා වශයෙන් පත්ව ආ රයික්ලොෆ් ෆන් හුන්සේගේ ක්‍රියා මාර්ග ද දෙපක්ෂ අතර ගැටුම් මතභේද උග්‍ර අතට හැරවීමට සමත් විය.ලන්දේසීන් ලංකාවේ ප්‍රදේශ ආධිපත්‍යයක් ලබා ගැනීමට යන්න දරන බව වටහාගත් දෙවන රාජසිංහ රජු එය වැළැක්වීම සඳහා එක්තරා ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේය.ඔහු ලන්දේසීන් අල්ලාගත් ප්‍රදේශවල ඔවුන්ට කිසිදු ලාභ ප්‍රයෝජනයක් ලබා ගැනීමට නොහැකි වන සේ එම ප්‍රදේශ ගිනිබත් කොට ඒවායෙහි ජීවත්වූ ජනතාව උඩරට ප්‍රදේශවලට කැදවා එහි පදිංචි වීමට සැලසුවේය.

ලන්දේසීන් රෝමානු කතෝලිකයින් රෙපරමාදු ආගමට හැරවීමට දරුණු ක්‍රියා මාර්ග අනුගමනය කළ අතර රජු ඔවුන්ද ගෙන්වා මහනුවර, වෑඋඩ, අවිස්සාවේල්ල, රුවන්වැල්ල, රත්නපුර ආදී ප්‍රදේශවල පදිංචිවීමට ඉඩ හලේය.එයින්ද නතර නොවූ රජතමේ සිංහලයින්ට ලන්දේසීන් හා වෙළදාමද තහනම් කොට ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සැපයීමද තහනම් කොට එසේ අණට පිටුපෑවුන්ට දැඩි දඩුවම් පැමිණවීය.

තමන් හමුවට ලන්දේසි තානාපතිවරුන් දෙදෙනෙකු උඩරට රඳවාගත් රජතුමා පසු කාලීනව ලන්දේසීන්ට විරුද්ධව ක්‍රියාකිරීම සදහා ඉංග්‍රීසීන්ගේ ආධාරයද පැතීය.ක්‍රි.ව.1659 දී කල්පිටියට පහර දීමෙන් ලන්දේසීන් උඩරට විරෝදී ක්‍රියා පිළිවෙත ඇරඹීය.දෙවන රාජසිංහ රජුට කල්පිටිය රැක ගැනීමට නෙකාහැකි වූ අතර ඉන්පසු ක්‍රි.ව.1665-1668 කාලය අතරතුර ලන්දේසීහු උඩරටට අයත් විශාල ප්‍රදේශයක්ද අතපත් කර ගත්හ.ඒ අනුව ක්‍රිකුණාමලය,කෙට්ටියාරම,මඩකලපුව,
ගිනිකොන දිග වෙරළබඩ තීරයද උඩරට රාජ්‍යයෙන් ගිලිහී ගියේය.ඉන්ද නොනැවතුණ ඔවුහ් සබරගමුවෙන් කොටසක්ද,කැලණි ගඟ හා කළු ගඟ ආශ්‍රිත ප්‍රදේශද,තමන්ගේ ග්‍රහණයට නතුකර ගත්හ,

මේ කාලය තුළදී මෙම පෞඪ සිංහල රජු තරමක නිහැඩියාවකින් පසුවූ බව පිළිගත යුත්තකි.එසේ වීමට හේතුවූයේ රජුට විරුද්ධ අභ්‍යන්තර ගැටුම් හට ගැනීමය.ක්‍රි.ව.1664 දී අඹන්වෙල රාළගේ ප්‍රධානත්වයෙන් ඇරඹි නිල්ලඹේ කැරැල්ල ඒ අතරින් ද ප්‍රධාන තැනක් ගත්තකි.

ඒ වන විට රජු වැඩි වශයෙන් කාලය ගතකළේ සෙංකඩගල අතහැර නිල්ලඹේ නුවර ඉදි කළ මාලිගයකය.යම් යම් හේතූන් මත රාජසිංහ රජු පහකොට ඔහුගේ පුත් කුමරු සිහසුන් ගත කිරීමේ අරමුණින් කැරැල්ල ඇරඹී අතර රජු වෙනුවට සිරියහන් ගබඩාවේ නිදා සිටි අළුවිහාරේ නැමැත්තා රාත්‍රියේ මාලිගයට කඩා වැදුණු කැරලිකරුවන් අතින් මැරුම් කෑවේය.ඒ වන විට රජු දිවි රැක ගැනීම සදහා හගුරන්කෙත ගලඋඩ ප්‍රදේශයට ගොස් සිටි අතර කැරලිකරුවන්ගේ බලාපොරොත්තු තවදුරටත් බිද දමමින් ළාබාල කුමාරයාද රජු සහෝදරිය විසින් රජුවෙත ගෙන යන ලදී.තමා වෙනුවෙන් දිවි පිදූ තැනැත්තාගේ පරම්පරාවට අළුවිහාරේ සන්නස මගින් ගම්වරද,වනිගසේකර නාමයද,රාජ සම්මානද පිදූ රජු කැරලිකරුවන් කිහිපදෙනෙකු අල්ලා මරා දමා නායකයා වූ අඹන්වෙල රාළ දැඩි දඩුවම් පිමිණවීම සදහා ලන්දේසීන් වෙත යැවීය.

නිල්ලඹේ කැරැල්ලෙන් රජුට ඒ හැටි හානියක් නොවූවද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ලන්දේසීහු උඩරට ප්‍රදේශවලට පහරදී ඒවා තමන් යටතට ගත්හ.කොයි දේ සිදුවුවද දෙවන රාජසිංහ රජු සතු වූ ආත්ම ශක්තිය පුදුම දනවන සුලු විය,කිසිදෙයකින් අධෛර්යයමත් නොවූ රජු,ලන්දේසීන් එළවා දැමීම සදහා ක්‍රි.ව.1667 දී මදුරාසියට දූතයින් යවා බ්‍රිතාන්‍ය ආධාර ලබා ගැනීමටද,ඊට පසු ලංකාවේ නැගෙනහිර වෙරළට පැමිණි ප්‍රංශ නාවුක කණ්ඩායමකින් ආධාර ලබා ගැනීමටද කටයුතු කළ ද ඒවා සාර්ථක වූයේ නැත.ප්‍රංශ නැව් කණ්ඩායම ලන්දේසීන් විසින් පහරදී පන්නා දමනු ලදී.

ෆන් හුන්ස්ද ද බතාවියට ලියුම් යවමින් උඩරට රජු දුර්වලයෙකුයැයි කීවේය. එසේ වුව සියල්ලෝම මවිතයට පත්කරමින් ක්‍රි.ව.1670 දී දෙවන රාජසිංහ රජු ලන්දේසීන්ට එරෙහිව දරුණු ප්‍රහාරයක් එල්ල කළේය.තුන් දිසාවකින් හමුදා යවා ලන්දේසි බළකොටුවලට හා හමුදා කඳවුරුවලට පහර දෙනු ලැබූ අතර මහත් සේ බියට පත් වූ ලන්දේසීහු බලකොටු අතහැර පලාගියේය.මේ අනුව රුවන්වැල්ල,සබරගමුව හා බිබිලේගම ආදී කඳවුරු රජු විසින් අත්පත් කරගනු ලැබූවේ කිසිදු අපහසුවකින් තොරවය,නැගෙනහිර වෙරළබඩ තීරයෙන් වැඩි ප්‍රමාණයක් රජු සතු වූ අතර,ක්‍රි.ව.1675 දී එල්ල කෙරුණු දෙවන ප්‍රහාරයෙන් මාතර දිසාවද ලන්දේසීන්ට අහිමි විය.අනතුරුව සිංහල හමුදා මල්වාන දක්වාම පැමිණියද සත්කෝරළයේ දිසාවේ රජු අතහැර ලන්දේසීන්ට එකතු වීම හේතුවෙන් ක්‍රියාදාමය එතැනින් නතර කිරීමට සිදුවිය.

ෆන් හුන්ස් දැක්වූ පරිදි තමන් දුර්වලයෙකු නෙවන බව ක්‍රියාවෙන් ඔප්පු කළ දෙවන රාජසිංහ රජු 1659 න් පසුව ලන්දේසීන් විසින් උඩරට රාජ්‍යයෙන් අල්ලා ගන්නා ලද ප්‍රදේශවලින් බොහෝමයක් උඩරටට ඈදා ගන්නා ලදී. උඩරට රජුට අභියෝග කිරීම බුද්ධිගෝචර නොවන බව වටහා ගත් ලන්දේසීහු ක්‍රි.ව.1680 දී ලෝරන්ස් ෆිල් ආණ්ඩුකාරයා ලෙසින් පත්කර එවා උඩරට රජුගෙන් අල්ලාගත් ප්‍රදේශ ආපසු පවරා මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කරන ලෙස උපදෙස් දුන්නේය.

එසේ වුව එම ප්‍රදේශ ලන්දේසීන්ගේ ප්‍රදානයක් සේ පිළිගැනීමට නොකැමති වූ රාජසිංහ රජු එම ප්‍රදේශ ගිනිතබා විනාශකොට ලන්දේසීන්ට අවශ්‍ය වෙළද ද්‍රව්‍ය ලබා ගැනීමටද බාධා පමුණුවමින් ඔවුන්ට මහත් හිරිහැර පැමිණවීය.කෙසේ වුව වෙළද වාසි හේතුවෙන් ලන්දේසීහු එවරද තමන් සතුකරගෙන සිටි පුත්තලම, මඩකලපුව, කල්පිටිය,ත්‍රිකුණාමලය,කොට්ටියාරම වැනි වරායන් රජුට අල්ලා ගැනීමට ඉඩ තැබුවේ නැත.

ලන්දේසීන් බොහෝ දුරට සාමකාමී ක්‍රියා මාර්ගයකට යොමු කිරීමේ ගෞරවය නිතැනින්ම දෙවන රාජසිංහ රජුට හිමිවේ.එය ඔහුගෙන් පසුව බිහිවූ රජවරුන්ටද අස්වැසිල්ලක් විය.එසේ වුව පසුකාලීනව ඔහු විසින් අනුගමනය කරනු ලැබූ ක්‍රියා මාර්ග දෙකක් පමණක් උඩරට රාජ්‍යයට ඒ හැටි හිතකර වූයේ නැත.මදුරාවෙන් බිසෝවරුන් ගෙන්වා ගැනීම ඇරඹීයේ ඔහුය.පසුකාලීනව උඩරට රජවරුද එය අනුගමනය කරමින් මදුරාවෙන් නායක්කාර් වංශික කුමාරිකාවන් ගෙන්වීමට වගබලා ගත්හ.

අභ්‍යන්තර ගැටුම් ඇතිකළ වුන්ට කිසිදු සමාවක් නොදුන් රජු ඔවුන් දරුණු වධ දී මරා දැමුවේය.රජු මහලු වයසට පත්වූ කල්හි අබිං භාවිතයට පුරුදු වී වැඩි කාලයක් හඟුරන්කෙත මාලිගාවේ ගත කළ බවද සදහන්ය.එය අවාසනාවන්ත තත්ත්වයක් විය.එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් උඩරට නිලධාරීහු වැඩි බලයක් තමන් අතට ගෙන තමන්ට අවැසි සේ මහජනතාවට බලපෑම් කරන්නට වියත

අදට මෙච්චරයි කියන්න තියෙන්නේ තවත් ලිපියකින් හමුවෙමුකෝ