ලක්දිව රජකළ පඩුවස්දෙව් රජතුමා


Post 6 photo

ඔන්න ගිය සතියෙ කිව්වනේ ඊළඟට රජවූ කෙනා හදුන්වල දෙනව කියල.අද ඒ නම මුලින්ම කියන්නෑ.පොඩි විස්තරයක් කියල තමයි පටන්ගන්නේ.ඒ විස්තරේ අවශ්‍යමයි.
ඔන්න විජයගේ දූත පිරිස හසුන් ගෙන සිංහ පුරයට ගිය පසු ඔහුගේ සොහොයුරා වූ සුමිත්ත සිංහ පුරයේ රජකම් කරමින් ඉදල තියෙන්නේ.ඉහත සඳහන් පරිදි සුමිත්ත සිංහ පුරයේ අභිෂේක ලැබූ අතර ලක්දිව රජකම කිරීමට යෑමට කැමති කවුද කියා තමන්ගේ පුත්‍රන් තිදෙනාගෙන් ඇහුවම,බාලම පුතනුවන් වූ පඩුවස්දෙව් ලක්දිවට යෑමට කැමතිවෙලා.ඒ අනුව පඩුවස්දෙව් කුමාරයා පරිවාර කුමර කුමරියන් තිස්දෙනෙකු සමඟ ලක්දිවට ඒමට ඉන්දියාවෙන් නැව් නැගලා.ඔවුන් ලක්දිවට පැමිණිලා තියෙන්නේ පරිබ්‍රාජකයින් විදියට වෙස් වලාගෙන.විජයගේ මරණයත් පඩුවස්දෙව් කුමාරයාගේ පැමිණීමත් අතර ගණනය කිරීමට අනුව වර්ෂයක් පමණ තියනවා.එතෙක් ලක්දිව පාලනය කරල තියෙන්නේ විජය සමග පැමිණි පරිසේ නායකයෙක් වන උපතිස්ස ඇමති.අපි ඉස්සෙල්ලා කිව්ව වගේ ඔහු විසින් පිහිටුවා ගත්ත උපතිස්ස ග්‍රාමයේ තමයි රජකම් කරල තියෙන්නේ.ඔන්න පඩුවස්දෙව් ඇතුළු  පිරිස මහකනදරා නදිය ඔස්සේ ගෝකණ්ණ තිත්ථයට ගොඩ බැස විජිතපුරයේ රජකම් කළ බව මහාවංශ ඨිකාවේ සඳහන් වෙලා තියනවා.ඕකෙ තේරුම දන්නෙ නැති අයත් ඇතිනේ.ඔය විදියට පඩුවස්දෙව් ඇතුළු පරිසි මහවැලි නදිය ඔස්සේ ත්‍රිකුණාමලය වරායට ගොඩ බැස විජිත පුරයේ රජකම් කර ඇති බවයි හැඟ වෙන්නේ.පඩුවස්දෙව් ඇතුළු පරිසි ගෝකණ්ණ වරායට ගොඩ බැසල තියෙන්නේ ක්‍රි.පූ.504 දී පමණ.මේ පිරිස තමයි ලංකාවට පැමිණි දෙවන ආර්ය කණ්ඩායම. පඬුවස් දෙව් රජ තුමාත් උපතිස්ස ගම අග නුවර කරගත්ත බව  විශ්වාස කළත් ඇතැම් අය කියන්නේ එතුමා අගනුවර කරගත්තේ හලාවත ආසන්නයේ පිහිටි පඬුවස්නුවර බවයි.
ඉතින් මෙහෙම ටික කලක් ගත වෙද්දී පඬුවස්දෙව් රජතුමා ටත් විජයට උන දේ ම උනා. “අභිෂේකය සඳහා කුල කාන්තාවකගේ අවශ්‍යතාවය” පැන නැගුනා. පඩුවස්දෙව් රජුගේ බිසව විදියට ගෙන්වා ගත්තේ ශාක්‍ය කුලයට අයත් සුද්ධෝදන රජුගේ සොහොයුරා වූ අමිතෝදන රජුගේ පුතා වූ පණ්ඩුශාක්‍ය කුමරාගේ එකම දියණිය වූ භද්‍රකච්චායනා කුමරිය.භද්‍රකච්චායනා කුමරිය ලංකාවට පැමිණිලා තියෙන්නෙ තවත් පරිවාර කුමර කුමරියන් 32 සමඟ.ඒ මොකටද දන්නවද අර ඉස්සෙල්ලාව ආව විජයගේ පිරිසට බිසෝවරුන් හැටියට.ඒ විතරක් නෙවෙයි භද්‍රකච්චායනා කුමරිය ඇවිල්ල තියෙන්නෙ තමන්ගේ සොහොයුරන් සත් දෙනාගෙන් හය දෙනෙක්ම සමග.මේ පිරිස ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ පිහිටා තිබෙන තාම්‍රලිප්ති තොටුපොළෙන් නැව් නැගල ලංකාවේ නැගෙන හිර වෙරළේ පිහිටා තියෙන ගෝකණ්ණ තොටුපළට ගොඩ බැහැල තියනව කියල ඉතිහාස වංශකථා ශාක්ෂි දරනවා.ඔන්න ඔහොම තමයි ලක්දිව වාසීන් බුදුන්වහන්සේගේ ලේ නෑයින් බවට පත්වුණේ.මේ පිරිස තමයි ලක්දිවට පැමිණි තෙවන ආර්ය කණ්ඩායම.භද්‍රකච්චායනා කුමරිය සමඟ පැමිණි සොහොයුරන් ගංගා ආශ්‍රිතව ජනවාස පිහිටුවාගෙන තියනවා.දීඝයු කුමාරයා දීඝගාම මණ්ඩල හෙවත් දිගාමඩුල්ලද,රෝහණ කුමරු රෝහණ ග්‍රාමයද,අනුරාධ විසින් අනුරාධගාමද,විජිත විසින් විජිතගාමද,උරුවේල විසින් උරුවේලගාමද,රාම විසින් ගෝණාගමද පිහිටුවාගෙන තියනවා.
භාද්‍රකච්චායනා කුමරියට පුතුන් 10 දෙනෙක් සහ අන්තිමේදී එක දුවක් ලැබුනලු. ඒ දියණිය ගේ නම තමයි “චිත්‍රා”. ඇයට දුටුවන් උමතු කරවන සුළු රූ සපුවක් තිබුණු නිසා “උන්මාද චිත්‍රා” කියල හැඳින්වුවා ලු. දීප වංශයේ සදහන් පරිදි අනිත් දරුවන් වූයේ තිස්ස,උත්තිය,අසේල,විභාතරාම,සිව මත්ත,මන්තකලෙණ.චිත්තා යනුවෙනි. ඉතින් මේ චිත්‍රා ඉපදුන වෙලාවේ දෛවඥයන් අනාවැකි පළ කරාලු අනාගතේදී චිත්‍රා ට පුතෙක් ලැබුනොත් ඔහුගෙන් චිත්‍රාගේ සහෝදරයින් මැරුම් කන බවට. ඉතින් මේකට කලබල උන සහෝදරයෝ ටික තීරණය කරාලු චිත්‍රා එවෙලේම මරා දමන්න. එත් ඉතින් කොයි දෙමාපියෝද එහෙම දේකට කැමති වෙන්නේ. වැඩිමහල් ම සොහොයුරා උන “අභය” ත් මේකට කැමති වෙලා නැහැ. ඒ නිසා අන්තිමේදී තීරණය කරාලු චිත්‍රා ට කිසිම පිරිමියෙක් මුණ නොගැසෙන විදියට ඇයව එක් ටැම් ගෙයක සිර කරලා තියන්න. මේ එක් ටැම් ගෙය මුර කරන්න සේවයේ යොදවල තිබුනේ “චිත්ත රාජ” සහ “කාලවේල” කියන යක්ෂ ගෝත්‍රික සේවකයන් දෙදෙනෙක්.
එසේ වුවත් ඇගේ මයිලනුවණ් කෙනෙකු වූ දීඝ ගාමිණී කුමරු,චිත්‍රා කුමරිය රදවා සිටි එක්ටැම් මාලිගාවට පිවිසෙන්නට විය මේ වන විට අභය රජු සමග රාජ සේවය පිණිස දීඝ ගාමිණිටද යුව රජ පඩුවස්දෙව් රජු විසින් ලබා දී තිබුණි මේ තොරතුරු දැනගත් උම්මාද චිත්‍රා ඔහු හා පෙමින් බැදීම මෙම සබදතාවයට හේතු විය එහි අවසාන ප්‍රතිඵලය වූයේ දීඝගාමිනීට දාව චිත්‍රා කුමරියට පිරිමි දරුවෙකු ලැබීමයි
මේක අහල කෝප උන සොහොයුරන් එක් ටැම් ගෙය මුර කළ චිත්තරාජ සහ කාලවේල ට මරණ දඬුවම දුන්නලු. ඔවුන් දෙදෙනා චිත්‍රාගේ දරුවා ආරක්ෂා කරන්න යක්ෂ ආත්ම වල ඉපදුනා කියලයි කියන්නේ. චිත්‍රා ත් මරා දමන්න හැදුවත් නැවත වතාවක් මවු පියන්ගේ සහ  වැඩිමල් සොයුරාගේ අනුකම්පාව නිසා චිත්‍රා ගේ ජීවිතය බේරුනා. පිරිමි දරුවෙක් ලැබුනොත් ඔහු මරා දමන්නත් ගැහැණු දරුවෙක් ලැබුනොත් හදා ගන්නත් එකඟ උනා. ඉතින් කවුද මේ දරුවගේ පියා? භාද්‍රකච්චායනා ගේ බෑනා කෙනෙක් වන “දීගගාමිණි” ද? නැත්නම් යක්ෂ ගෝත්‍රික “චිත්තරාජ” ද? මේක ගොඩක් දෙනා තර්ක කරන කාරණයක්.
මාමාවරුන්ගේ විරෝධය දැන සිටි චිත්‍රා කුමරිය තමන්ට ලැබුණු පිරිමි දරුවා ගැහැනු දරුවෙකු බව අගවා එදින ම ඇගේ සේවිකාවකට ලැබුණු දියණියට සිය පුත් කුමරු හුවමාරු කර ආරක්ෂා සහිතව කුමාරයා රහසිගතව ඇති දැඩි කර ගැනීමට කටයුතු සලසා ගත්තාය පුත් කුමරුවාට පණ්ඩුකාභය යයි නම් තාබූ චිත්‍රා කුමරිය සිය සේවිකාව මාර්ගයෙන් දරුවා ඇති දැඩි කර ගත්තේ උපායන් යොදමින්ය .ලැබුනේ දුවෙක් කියලා මාමලා රැවටුනා. කුමාරයට නම තැබුවේ පඬුවස්දෙව් රජුගේ ත් අභය කුමරු ගේ ත් නම් එකතු කර “පණ්ඩුකාභය” කියලා. ඉතින් මේ කුමාරයාව යක්ෂ ගෝත්‍රිකයින් වෙසෙන දොරමඩලාව ගමට රහසින් පිටත් කරා.  සේවිකාවක විසින්, පැසක දාගෙන තමයි කුමාරයව ගෙනිච්චේ. ඇයට අතරමගදී හමු වෙනවා දඩයමේ ගිය,කුමාරයාගේ මාමාවරු කිහිප දෙනෙක්. ඔවුන් මේ පැස පරික්ෂා කරන්න හදද්දී චිත්තරාජ සහ කාලවේල වල් ඌරු වෙස් ගෙන එතනින් දුවපු නිසාත් මාමාවරු උන් පස්සේ දුවපු නිසාත් කුමාරයා බෙරුනාලු (මේ කතා නම් හුදු අලංකාර පමණක් වීමට ඉඩ කඩ ඇත).
දොරමඩලාවේදී කුමාරයා හැදී වැඩෙන්නේ යක්ෂ ගෝත්‍රිකයින් ගේ රැකවල් මැද. ඔහුට අවු. 7 ක් වෙද්දී මාමාවරු දෛවඥයින්ගෙන් දැන ගන්නවා කුමාරයා ගැන. කුමාරයා ගොපළු ගමක ඉන්න බව දැනගත් පසු සේවකයින් ලවා ගොපළු ගම් එකක් නෑර ගිනිබත් කර බිලිඳු සංහාරයක් කරනවා. මේ වෙලාවේදී කුමාරයා යහළුවන් සමග දිය කෙළියට ගිහින්. රාජ පුරුෂයන් එතනට කඩා වදිද්දී කුමාරයා ඉන්නේ ගස් බෙනයක හැංගිලා. ඒක කුමාරයා යහළුවන් පුදුම කරවන්න නිතරම වගේ කරපු දෙයක්. ඒ නිසා එදා ඔහුගේ ජීවිතය බේරුණා. කුමාරයට දොළොස් විය ලැබූ පසු නැවතත් මාමාවරුන්ට සැක පහළ වෙනවා. මේ වතාවේදී කුමාරයා බේරෙන්නේ ගින්දර ගෙන ඒමට ගෙදර යන අතරමග සිටි නිසා. කෙසේ වුවත් සම වයස් ළමයින් බොහෝ ගණනක් කුමාරයා නිසා දිවි පුදනවා.
සොළොස් විය පිරුණු කුමරු ශිල්ප ඉගෙන ගැනීම සඳහා “පණ්ඩුල” නම් බ්‍රාහ්මණයෙකු ළඟට යනවා. පණ්ඩුල බමුණාගේ පුත් “චන්ද්‍ර” ද පසු කලෙක පණ්ඩුකාභය ගේ සේනාව සමග එකතු වෙනවා. වැඩි විස්තර පණ්ඩුකාභය රජු යටතේ ලිපයෙන් දැන ගනිමු.වැඩියෙන් කියන්න ගියොත් ඒ ලිපියට විස්තර නැති වෙනවනේ.
පණ්ඩුකාභය කුමරු ඉපදුන වසරේම පඬුවස්දෙව් රජුතුමා මිය යනවා, ඒ අවු. 30 ක රාජ්‍ය කාලයකට පසුව. එනම් ක්‍රි. පූ. 504 – ක්‍රි. පූ. 474  (බු. ව. 40 – බු. ව. 70). ඉන් පසුව රජ වෙන්නේ අභය රජ තුමා (කුමරුගේ වැඩිමහල් මාමා). ඔහු අවු. 20 ක් (ක්‍රි. පූ. 474 – ක්‍රි. පූ. 454) හොඳින් රජකම් කරනවා. අභය රජු පණ්ඩුකාභය කුමරුට පක්ෂව කටයුතු කරන බවට සැක ඇති වීම නිසා අනෙක් සොහොයුරෝ ඔහුට විරුද්ධ වී රජ කම දෙවැනි සොහොයුරු “තිස්ස” ට ලබා දෙනවා. ඒත් තිස්ස රජුට (ක්‍රි. පූ. 454 – 437) හරියාකාරව රජකම් කරන්න ලැබෙන්නේ නැහැ. පණ්ඩුකාභය කුමරු ඔවුන්ට විරුද්ධව සටන අරඹන නිසා. ඒ කාලයේ රට අරාජික තත්වයක තිබුණා කිව්වොත් වඩාත් හරි.
සිංහලයේ ප්‍රථම රජුවූ පණ්ඩුකාභය රජු විස්තර ඇතුළත් ලිපියෙන් එන සතියේ හමුවෙමුකෝ.
Visit Our New Website –  http://sinhapedia.blogspot.com

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s