පළමුවන වික්‍රමබාහු(6 වන කාශ්‍යප)රජතුමා


පස්වන මහින්ද රජු සොළීන්ගේ සිරකරුවෙකු හැටියට උපක්‍රමයෙන් අල්ලාගෙන යාමෙන් පසුව රෝහණ දේශයේ සුළු ප්‍රදේශයක් හැර මේ දිවයිනේ රජරට ඇතුළු විශාල භූමිභාගයක් ඔවුන්ගේ ආධිපත්‍යයට යටත් වූ බව අපි දනිමු.ඔවුන් එම ප්‍රදේශය කෙසේ පාලනය කරන ලද්දේද යන්න පිළිබඳව සොළීන්ගේ ශිලාලේඛන හා දේශීය මූලාශ්‍රයන් ආශ්‍රය කරගෙන එක්තරා ප්‍රමාණයකට අධ්‍යනයක් කළ හැකිවේ.ඔවුන්ගේ මධ්‍යස්ථානය වූයේ අනුරාධපුරය නොව පොළොන්නරුවයි.වෙනත් රාජ්‍යයකින් එන බලවේගයක් ගැන මේ කාලයේ සොලීන්ට සැක කිරීමට හේතු නොපෙණින.ඔවුන්ට ප්‍රශ්නයක් විය හැකිව තිබුණේ රෝහණ දේශයයි.රට නිදහස් කර ගැනීම පිණිස ඒ ප්‍රදේශයෙන් බලවත් අරගලයක් බිහිවිය හැකිබව ඔවුන් අවබෝධ කරගත්තා විය යුතුය.මේ නිසා එබඳු තත්ත්වයක් උදා වුවහොත් එය පහසුවෙන් මැඩ පැවැත්විය හැකි කේන්ද්‍රස්ථානයක් තෝරා ගතයුතු විය.එයට ඉතාමත් සුදුසු භූමිය වූයේ මෙතෙක් කඳවුරක් වශයෙන් පැවති පොළොන්නරුවයි.ඒ අනුව සොළීහු සිය මධ්‍යස්ථානය හැටියට එය තබා ගත්හ.

එහි ඔවුන්ගේ පාලන ප්‍රදේශය මුම්මඩිචෝලමණ්ඩලම් යි නම් කළ අතර පොළොන්නරුව ජනනාථ මණ්ඩලම් යි නම් කෙරිණි.මේ අන්දමට සොළීන් දිවයිනේ රජරට තම බලය තහනුරු කරගත් නමුදු රෝහණ දේශය හරහා සැඟවී එක්වුණු සිංහලයෝ සිය ජාතික නිදහස උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කිරීමට සංවිධානය වූහ.සොළී රටට අල්ලාගෙන ගිය පස්වන මහින්ද රජුට පුත්‍රයෙක් සිටියේය.ඔහු කාශ්‍යප නම්වූයේය.බාල වයසෙහි සිටි මේ කුමරුවා අල්ලා ගැනීමට සොළීන්ට නොහැකි විය.රටවැසියෝ ළදරුවෙකු වූ මේ කුමාරයා සඟවාගෙන අනාගත අපේක්ෂාව ඇතිව ආරක්ෂා කරගත්හ.කුමාරයා යන්තම් දොළොස්හැවිරිදි වූවා පමණි.සොළීහු ඒ බව දැනගත්හ.ඔවුහු කුමාරයා අල්ලාගන්නා පිණිස අසූපන්දාහක සේනාවක් රෝහණයට යැව් බව මහාවංසය කියයි.

මේ වනවිට සිංහල පක්ෂයේ බලවත්තු දෙදෙනෙක් රෝහණ දේශයේ විසූහ.මක්ඛක්‍රදෑස වාසී කිත්ති හා මාරගල්ලවාසී බුද්ධ යනු ඒ දෙදෙනා වෙති.මෙහි පළමුවැන්නා විසුවේ කොතැනදැයි හඳුනා ගැනීමට තවමත් පුළුවන් වී නැත.මක්ඛක්‍රදෑස යන වචනය දැනට මකුහමු යනුවෙන් හෙළ බසට නගා ඇතත් එම ග්‍රාමය කොහේ පිහිටියේද යනු පැහැදිලි නැත.එහෙත් මාරගල්ල යනු මරගලය.එය වර්තමාන මොණරාගල නගරය අසල සිට දිගට විහිදෙන කොටස් වෙනත් නම් වලින්ද හැඳින්වෙන නමුත් ඒකාබද්ධව අති මහා කඳු වැටියයි.මෙය ගල්කුළු බහුල,ජලසම්පත් සහිත,ආරක්ෂාව අපේක්ෂා කරන්නට සැඟවී සිටිය හැකි,සිය ගණන් ගල්ලෙන් හා කුහර ඇති දුර්ගම කන්දකි.මෙහි බුද්ධ සෙනෙවියා විසූයේ කොතනකදැයි පැහැදිලි නැතත් සමහරවිට වර්තමාන සීතකන්ද නම් කොටසේ වන්නට ඇතැයි සිතිය හැකිය.

පොළොන්නරුවෙන් පිටත් වූ අසූපන්දහසක සොළී සේනාවට මුහුණ දෙන ලද්දේ ඉහත සඳහන් කළ වීර සෙනෙවියන් දෙදෙනෙකි.මේ දෙදෙනා යුද්ධ උපායෙහි දක්ෂ වූවන් බව මහාවංසය කියයි.සොළී මුළු රුහුණම කළඹද්දී පළුට්ඨගිරි නම් තැන කඳවුරු බැදගෙන හයමසක් සටන් කර මේ සෙනෙවියේ බොහෝ සෙනෙවියන් නැසූ අතර ඉතුරු වූවන් පොළොන්නරුවට පලවා දැමීය.

මෙයින් අපට පැහැදිලි වන්නේ රෝහණ වැසි ජනයාගේ රට ජාතිය ආගම වෙනුවෙන් වූ අභීත කැපවීමයි.සොළීන්ගේ බලයට අවනත නොවූ සුළු ප්‍රදේශයක විවිධ ගැටලුවලට මුහුණ දෙමින් වාසය කළ මේ සිංහලයෝ අසූහාරදාහකට මුහුණ දීම සුළු සිදුධියක් නොවේ.සිංහලයෝ කෙබදු අභිමානවත් වූ ධෛර්යයසම්පන්න සිතකින් ඔවුන් සමඟ දේශයේ ස්වාධීනත්වය රැකගැනීම උදෙසා යුද වදින්නට ඇද්ද?සොළීන් පොළොන්නරුව දක්වා පළවා හැරීමට සිංහලයෝ සමත් වූහ.ළපටි වික්‍රමබාහු කුමාරයාගේ දැඩි අධිෂ්ඨානය හමුවේ සොළිහු දණ ගැසූහතමෙයින් පසු රෝහණ වැසියෝ කාශ්‍යප කුමාරයාට වික්‍රමබාහු යැයි නම් තබා ඔහුගේ අණසකට යටත්ව විසූහතකුමාර තෙමේ සොළීන් සමඟ සටන් කිරීම පිණිස යුද්ධ හමුදාවක් පිළියෙළ කළේය.එසේම ඔටුනු පැළදවීමට අවශ්‍ය ඔටුන්න,සිංහාසනය ආදිය පිළියෙළ කරමින් සිටියදී අභාග්‍යයකට මෙන් දොළොස්වන වර්ෂයේදී වාතරෝගයකින් දෙවුන්දරදී මරණයට පත්විය.සමහරවිට මෙම කුමරුවා ජීවත්ව සිටියනම් මහා විජයබාහු කුමාරයාට පෙර සොළීන් මෙරටින් පලවා දමනු නිසැකය.

මේ අන්දමට මේ සිද්ධිය මහාවංසයෙහි වාර්තා වුවද රාජාධිරාජ සොළී රජුගේ මණිමංගලම් සෙල්ලිපියේ දැක්වෙන්නේ මෙයට වෙනස් සිද්ධියකි.වික්‍රමබාහු රජු සොළීන් විසින් මරණයට පත්කරන ලද බැව් එහි කියවේ.සමහර විට සෙල්ලිපිය අතිශෝක්තියෙන් රාජාධිරාජ රජුගේ බලය වර්ණසා කළ විය හැකිය.

ඉහත සඳහන් වර්ෂ ගණනය කුමාරයාගේ වයස නොවිය හැකිය.ඔහු රජකමට පත්වූ දා සිට සැලකුවා විය හැකිය.බොහෝ අනාගත අපේක්ෂා සහිතව කුමාරයා වටා එක්ව සිටි සිංහලයින්ට මෙයින් පසු අපේක්ෂා භංගත්වයට ඇති වූ බවට සැක නැත.ඔවුහු බලවත්සේ කම්පා වූහ.

පූජාවලියේ මෙසේ කියා ඇත.ඔහු පිත් වික්‍රමබාහු රජ සිය රජහු සමයෙහි ලක්දිවට බැස පුරා හුන් දෙමළ පල පිරිස් මරා දියපිට නන්වා දොළොස් අවුරුද්දක් රාජ්‍යය කළේය.මේ විස්තරය මේ ආකාරයටම රාජරත්නාකාරයෙහිද දක්වා තිබේ.

අපි ගියා ළමයිනේ.ලක්දිව රාජාවලිය පිටුවේ රුහුණු රාජධානියටත් දැන් අපි ගොඩ බැස්සා .මේ ලිපිය ඒකටයි ලිව්වේ.බුදු සරණයි!